-

මං වෙනුවෙන් ම කෙටිකතාව - Man Wenuwen Ma Short Story

මං වෙනුවෙන් ම


යි කණාමැදිරියො.... ඔයා දන්නවද අර පේන අහසෙ තියෙන වටිනම තරුව මොකද්ද කියන්න..... "


හීනි දබර ඇගිල්ල ගන'ඳුර මැදින් කැපී පේන නිමක් නැති තරු දිහාවට දික් කරන ගමන් මම එහෙම ඇහුවෙ 'අහසෙ තරුවක් වෙන්න ප්‍රාර්ථනා කරන' පුංචි කණාමැදිරියෙකුගෙන්.


" වටිනම තරුව...?"

"ඔව් ඔව්... වටිනම තරුව... මොකද්ද එතනින්..."


ම්ම්ම්... එයා මොහොතකට නිහඬ වුණා. මොහොතක් කියන්නෙ මොහොතක් ම නෙවෙයි. ඇස් එහෙට මෙහෙට කර කව කව වටිනාම තරුව හොයන්න පටන් ගත්තා..


" අ_ර_ක.. නෑ.... මේ_ක... අර එහා කොනේ එක... ගොඩක් බැබලෙනවා... හැබැයි ඒ තරුව හඳට ගොඩක් එහායින් තියෙන්නෙ.... "


එයා මුමුණනවා... හිතනවා... ආයෙ එයා හිතපු දේ එයාම ප්‍රතික්ෂේප කරනවා.. එයා කලබලෙන් හොයලා ගන්න උත්තරවල සතුටට පුංචි සුදු පාට තටු එකිනෙකට අත්පුඩි ගහනවා. ඒත් ඒක එහෙම නෑ කියලා එයාම කියන කොට ආයෙමත් ඒ පුංචි තටු බිමට ඇකිලෙනවා.. ම්ම්ම්... මං ඩිංගක් ඉඩ දුන්නා අහස කියවන්න එයාට.


" ඒයි කූඹිච්චි.... පේනවද අර සඳට ටිකක් දුරින් තියෙන තරුව.. අර තීන්නෙ... ඒක තමයි මම හිතන්නෙ වටිනම තරුව. මොකද වැඩි පුරම දිලිසෙන්නෙ ඒකනේ.."


අහස දිහාවට හැරිලා තිබුණු නෙත් දෙක එහා දිහාවට හැරුණෙ මූණ පුරාම ඇදිලා තියෙන හසරැල්ලෙ දිග හිතින් මම මනින ගමන්මයි. කට පුරවලා ලස්සන හිනාවක්. ඇසුත් දිලිසෙනවා. තටුත් ඉපිලෙනවා... හ්ම්.. ඒත් මේක නෙවෙයිනෙ මං බලාපොරොත්තු වුණ උත්තරේ.


" තරුවක් වටින්නනම් දිලිසෙන්න ම ඕනෙද.. ඊටත් වඩා සඳ දීප්තිමත් නැද්ද.. ඒකත් තරුවක් නේ..."


එයා ටිකක් පැටලුනා. හ්ම්. මම එයාව උත්තර නැති පැනයක නම් හිර කරේ නෑ. මට ඕනෙ එයාට කියලා දෙන්න. මට වැරදුන පාරේ යන ඒ හිත නොරැවටෙන්න.


" කූඹිච්චියේ.. ලෝකෙටම තියෙන්නෙ එක හඳයිනෙ. මට බෑනෙ එතැනට යන්න. වෙනවනම් ඉතින් තරුවක් තමයි.. "


" ඒකද ඔයාගෙ උත්තරේ.. "


" එහෙනම් මේ තරුවලින් දිලිසෙන්නෙ නැති තරුවද වටින්නෙ..."


එයා ආයෙත් හිකාවෙනවා.. ඒ උත්තරෙත් හරියට එකම කාසියේ දෙපැත්ත වගේ.. එක්කො දිලිසෙනම තරුව වටිනවා. නැත්නම් දිලිසෙන්නෙ නැති තරුව වටිනවා. 'කදෝපැණියො නුඹත් කපටි ම නෑ' එහෙමත් එවෙලෙ හිතුනෙ මගෙනුත් ඔහොම ඇහුවා නම් මාත් මොකක්හරි කියලා ලිස්සලා ගිහින් කිව්ව කෙනාගෙන්ම උත්තරේ ගන්න බලාවි. මටම හිනා මං ගැනම. තෙරක් අවසානයක් නොපෙනෙන අහස දිහා ආයෙමත් මම බැලුවෙ හදවතේ කකියන හැඟුම් සම්බාරයක් එකින් එක සුසුම් වැල් වලට භාර කරන ගමන්.


" එහෙම නෙවෙයි ද කූඹිච්චි. කවියො කවි ලියන්නෙත් එහෙම නේද... හුගක් අය බැබලෙනම තරුවට ලියනවා.. තවත් අය ආලෝකය අඩුම තරුවට ලියනවා..."


එයාගෙන් පැනයක් මට. මාත් ආස කරා එහෙම පැනයක් අහනවනම්, මේ කතාවට ගලා ගෙන යන්න ඉඩ දෙන්න. මට හිතින් තව තවත් සවිමත් වෙන්න වටිනාම අවස්ථාවක්.


" දන්නවද කණාමැදිරියො... හැඟීම් කියන්නෙ ම යථාර්ථය නෙවෙයි. ඒවා හිතින් මවා ගත්ත රසවින්දනයක්. කවියො මේ අහස දකින්නෙ හිතින් මවා ගත්ත මනෝමය සාහිත්‍යයෙන්. ඒකනේ කවි ඔච්චරම ලස්සන. "


" ඔයා මොනවද කියන්නෙ එතකොට.." 


" මම කියන්නෙ හැඟීම් අකුරු නොකර පවතින දේ පවතින තත්ත්වයෙන් බලන්න කියලා. අපි හදේ හාවෙක් ඉන්නවා කිව්වට ඇත්තටම ඒ හදේ හාවෙක් ඉන්නවද... ? "


" නෑනෙ "


මං හිතන්නෙ එයාට මං කිව්ව දේ තේරෙන්න ඇති. හැඟීම් කියන්නෙ කවියකට පණ එක ජවයක් විතරයි. 


" ඉතින් කූඹිච්චි කියන්නකෝ බලන්න ඔයා හිතන දේ.."


" කවියකට ඇලෙන් නැතුව හිතන්නකෝ. ඒ ඇති..."


බර කල්පනාවක.. කමක් නෑ මට එයාට කියන්න ඕන දේ කිව්වම ඇති කවි ගංගාවක පාරුවක් හරි පැදන් ගිහින්.


" කණාමැදිරියො.. ඒච්චර හිතන්න එපා. අපි අපේ කතාවට එමු... කියන්නකෝ බලන්න... ඔය තරු ආලෝකය උපයා ගන්නෙ එයාලගෙම මහන්සියෙන් ද...? නැත්නම් දායාදයක්ව අරන් එනවද...? "


" එහෙනම් ඔන්න මම උත්තරේ දන්නවා. ඔයා ඔය නොකිය කියන්නෙ අර සඳ පලුව ගැන නේද.... එයා හින්දනේ තරුත් දිස්න ගහන්නෙ..."


කතන්දරේ කියලා ඉවර කරන්න උනේ නෑ. එයා මැදින් පැන්නා. ඒත් එක්කම ගත වගේ ම හිතත් හිරිවට්ටලා දුවන් යන සීතල සුළඟක් හමා ගියේ තැනින් තැන වලා පොටවල්වලින් වහ ගත්ත අහසට හීතලක් දැනෙන් නැද්ද කියලා ඇහේ හීනියට කැකෑරෙන හදවතේ ආලෝකයට විමසන්න ඉඩ දෙමින්මයි.


" එහෙනම් කඳෝ මට කියන්නකෝ... සඳ ආලෝකය උපයා ගන්නවද.. නැත්නම් දායාදයක්ව අරන් එනවද....? "


" ඔයා මාව අවුල් කරනවද.?"


" කිසි සේත් ම නෑ..."


ලාවට ඇදුණු හිනාවකින් මං එයාට සංග්‍රහ කරේ අපේ සුහඳ කතා බහට පුංචි විවේකයක් දෙන්න.


" ම්ම්ම් "


එයාගෙ පුංචි සුසුමක් ඉහළ අහස දිහාවට පාවෙලා ගියේ අර වැඩි පුර දිලිසෙන තරුව දිහා බලලා.


" කඳෝ.. මං ම උත්තරය දෙන්නම් ඔයාට. හිරු ඉන්නවා නේද. එයා එයාට ලැබුණු දායාදයන් උපයා ගන්නවා එයාගෙන් ම. ඒ උපයා ගත්ත දායාදයෙන් කොටසක් සඳුට දෙනවා. සඳ ඉන් තවත් කොටසක් තරු වලට දෙනවා. හිරු නැතිදාක ඔය බැබලෙන හඳත් නෑ තරුත් නෑ..."


" ඉතින්...."


" ඔය මොන තරුව වටිනවා උණත් දවසක අහසින් කඩන් යනවා. ආයෙ ඔය අහසට පා තියන්න එයාලට බෑ. එයාලා පොළොවෙ ඉදන් කඳුළු හලලා හලලා පස් වෙලා යනවා.. ඒ නිසා හොඳම දේ තරුවක් වෙන්න ඔයා ඔයාටම. ඔයා මේ උපය ගන්න දායාදයෙන්ම. ඔහේ කඩන් යන තරුවකට වඩා පොළොවෙ ඉපදිලා, වැටුණ තැනින් නැගිටලා, ලස්සනට ජීවත් වෙලා, අවසනට පොළොවටම සාරයක් වෙලා යන තරුවක් ඔය මොනදේටත් වඩා ගොඩක් වටිනවා. ඒ නිසා හදවතේ ආලෝකය හඳුන ගන්න.."


මම ඒ හිතට අවසානයට එහෙම කිව්වෙ මගෙ හිතත් මම සවිමත් කර ගන්න ගමන්. ම්හ්.. පොඩි දේටත් මාත් කඩන් වැටෙනවා. ඒත් ආයෙ නැගිටින්න උත්සහ කරනවා. ඒකත් පවුරක් වගේ සවිමත්ව... 


" කූඹිච්චි යන්න ද හදන්නේ.."


පිච්ච මල් වැලේ අත්කකින් වාඩි වෙලා උන්නු මං නැගිට්ටෙ හැමදාමත් සුවඳ දෙන පිච්ච මල දිහා බලා ගෙන.. 'සඳ ආවත් නැතත් නුඹ පිපෙන බව මං දන්නවා.. අඳුරෙත් නුඹෙන් ධවල පැහැ ආලෝකයක් නුඹ වෙනුවෙන් ම'. මගෙ ජීවිතයට එයත් ආදර්ශයක් වෙයි.

" මං යනවා කදෝ... ආයෙ දවසක මුණ ගැහෙමු හමුවීමක් ඇත්නම් මේ පිච්ච වැලේ අත්තකම.."

" හ්ම්.. මුණ ගැහෙමු ආයෙමත්..."

හදවතේ තිබුණු ගොඩක් දේවල් පිට කරේ ඒ සැහැල්ලු ආශ්වාස හුස්මන්වලට යළි යළිත් පණ දෙන්න..


කඳෝපැණියට මගේ කතාව බරක් උනාද දන්නෙ නෑ.. ඒත් මගේ වචනවලින් මගේම හිත සවිමත් වුණා කියන්න මට දැනෙනවා. "හ්ම්. ඒ ඇති"

Writer - D.L.P.Gayathrie

ඔබත් කෙටි කතා ලියන කෙනෙක් ඔයාගේ කෙටිකතාව දැම්ම අපට එවන්න +94789702281 හි WhatsApp හරහා අපව සම්බන්ධ කර ගන්න හෝ වැඩි විස්තර දැනගැනීම සඳහා lionfmmail@gmail.com වෙත විද්‍යුත් තැපැල් කරන්න.


Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.